Sunday, July 29, 2012

ලක්ෂපති- විනෝදාශ්වාදන සංස්කෘතියේ ලාංකීය පාප්වරයා




ජනප‍්‍රිය කලාවේ පාප්වරයා ලෙස විරුදාවලියට පත් ඇන්ඩි වර්හෝල් ඝාතනය කෙරිණි. ලාංකීය   විනෝදාශ්වාදන සංස්කෘතියේ පාප්වර නිමල් ලක්ෂපති ආරච්චි හදිසි හෘදයාබාධයකින් මරණයට පත්විය.

වර්හෝල්ගේ මරණයට යම් අරුතක් තිබිණි. එහෙත් නිමල්ගේ මරණයට අරුතක් නොවීය. මන්ද තමා විසින් පාවාඩ එලූ සියල්ල පාවිච්චි කර වීසි කරන පාරිභෝගික සංස්කෘතිය ඔහුවද පාවිච්චි කර වීසි කර දමනු ඇතැයි නිමල් නොසිතූ බැවිනි. ඒ වන විට ඔහුගේ පුද්ගල විශ්වය තුළ හැර නිමල්ගේ ජීවිතයටද අන් අරුතක් නොවූ බැවිනි.

සිරස නාලිකාව උච්චස්ථානයෙහි පවතිද්දී මෙන්ම නිර්මාණාත්මකව පුරෝගාමී මෙහෙවරක් ඉටු කරද්දී ඔහු එන්ටර්ටේනින් බිස්නස්, එන්ටර්ටේනින් කල්චර් , එන්ටර්ටේනින් ඉන්ඩස්ටි‍්‍ර වැනි වදන් වැහැරුවේ දයාන් ජයතිලක රෙජිස් ඩෙබ්‍රෙ , පොලිටිකෝ ඞී මිලිටරි යන වදන් උසුරවන ලද ආකාරයේම උජාරුවෙන් හා ගරු ගාම්භීර ගතියෙන් යුතුවය. ප‍්‍රගීත් එක්නැලිගොඩ උත්ප‍්‍රාසාත්මකව සිනාසෙමින් නිතර කීපරිදි පොලිටිකෝ ඞී මිලිටරි අන්තිමේ පොලිටිකෝ ඞී රොබරි බවට පත්ව අවසන් විය. එතැනින් පටන් ගත් ලාංකීය නාගරික සටන්කාමීත්වයේ උපන්ගෙයි මියයාම මොල සෙනෙවිරත්න ඇතුළු පිරිසේ smsයුගයේ ගරිල්ලා ව්‍යාපාරයේ ඉරණම නොදැන කළ අද බාල ක‍්‍රියාකාරිත්වයන් විසින් මුදුන් පත් කොට ලාංකීය තරුණ කැරලිකාරිත්වයේ සිතියම Google Map ඉදිරියේ හකුලා පසෙක දමනු ලැබීය. එතැන් සිට ජාතිවාදී දේශපාලනයේ පාන අල්ලන්නන් බවට ජවිපෙද නැරඹුම්කාමීන් බවට අනෙක් සැවොමද පත් වූහ. දයාන් පේ‍්‍රමදාසට හිතවත්ව කටයුතු කළ සමයේ දිනක් ඔහු පැවසුවේ ලාංකීය ධනේශ්වර සංවර්ධනය පේ‍්‍රමදාස යටතේ ඉතා විකෘති ආකාරයෙන් සිදුවන බවය. එය අපට බලා සිටීමට බැරි තරම් ජුගුප්සාජනක වුව ඒ මිස අන් මගක් මේ මොහොතේ නොමැති වගය. ප‍්‍රගීත් විටෙක සුපුරුදු හිකි හිකි සිනාවෙන් කීවේ ‘මූ නං ප්‍රේමදාස ලගට ගිහින් තියෙන්නෙ ඇත්තටම විප්ලවය කරන්නද කොහෙද මූ දෙන්නෙම දිරවා ගන්න බැරි ලණුනෙ’ කියාය. නිමල් ලක්ෂපතිටද විනෝදාශ්වාදන සංස්කෘතිය ගැන දයාන්ට මෙන් විවිධ කතාන්දර තිබිණි.

නිමල් සිය විද්‍යුත් මාධ්‍ය ජීවිතය පටන් ගත්තේ ගුවන් විදුලි සංස්ථාවෙනි. ගුවන් විදුලියේදී ඔහු විසින් නිෂ්පාදනය කළ වේදිකාව වැඩසටහන නාට්‍ය කලාව අරභයා මෙතෙක් සම්පාදනය කෙරුණු ඉතා නිර්මාණාත්මකම වැඩසටහන විය. නිමල්ගේ කටහඩ ඊට අපූරු මානයක් එක් කළේ තිස්ස අබේසේකරගේ කටහඩ සිනමා ප‍්‍රචාරක දැන්වීම්වලට එක් කළ මානය හෝ සුනිලා අබේසේකරගේ කටහඩ මාස්ටර්ගේ සංගීතයට නව මානයක් එක් කළපරිද්දෙනි. එවන් ශාස්ත‍්‍රීය වැඩ සටහනක් සම්පාදනය කළ නිමල් තිලක් ජයරත්න විසින් ගෙනා ගුවන් විදුලි සංකල්පය කොට්ට උරයක් මෙන් කන පිට හැරවූ ආකාරය පුදුමාකාරය. තිලක් ජයරත්න සහ සුනිල් විජේසිරිවර්ධන ඉහළ සිට පහළට දේවල් සම්පේ‍්‍රෂණය කරන ගුවන් විදුලි මාධ්‍යයක් වෙනුවටපහළ සිට ඉහළටද දේවල් සම්පේ‍්‍රෂනය කෙරෙන ශ‍්‍රාවක කේන්ද්‍රීය ගුවන් විදුලියක් පිළිබද සිහින දුටුවෝය. මහවැලි ප‍්‍රජා ගුවන් විදුලිය , ඌව ප‍්‍රජා ගුවන් විදුලිය  වැනි ව්‍යාපෘති දියත් කෙරුණේ මේ අනුවය. මෙය පැරණි සම්ප‍්‍රදායික බ්‍රෝඞ්කාස්ටින් සංකල්පය වෙනුවට නැරෝකාස්ටින් සංකල්පයක් ක‍්‍රියාවට නැංවීමක් විය. මෙයට අපූරු පීඨිකාවක් බවට FM තාක්ෂණය පත් වීමට හැකියාව තිබිණි. විනෝදාශ්වාදන සංස්කෘතියේ වේරම්භ වාතය පාරිභෝගික ධනවාදයේ කඩ වීදියක් බවට පත් මේ අමුතු ඇටයද ආක‍්‍රමණය කරමින් තිබිණීි. මෙහිදී තිලක් සහ සුනිල් සිහිනෙන්වත්  මේ ළිඳ ළඟ සංගම් එෆ් එම් සංස්කෘතියක් උපකල්පනය කළේ නැත.


මහරාජා ආයතනයේ අලෙවි නියෝජිතයකු ලෙස ඔහු විවිධ නිෂ්පාදන ප‍්‍රවර්ධනය කරන්නට දත කෑවේය. ඒ හරියට දැන් ආතක් පාතක් නැති මුත් ටයි දාගෙන අව්වේ වේලි වේලී වතුර බිබී ගෙන් ගෙට යන මෙන්ම පාර අයිනේ මදුරු නාශක පිති තියාගෙන බැඞ්මින්ටන් කෙලින පාරදිගේහි චන්දරේලා පරිදිමය. අන්තිමේ පීවීසී පයිප්ප සහ උපාංග ප‍්‍රවර්ධනය කිරීමේ කොන්ත‍්‍රාත්තුවකින් නිමල්ගේ බමරය වැල්ලේ කැරකුනේය. නිමල්ගේ පමණක් නොවේ සුදර්ශියේ නාට්‍ය නැතුව වේලි වේලී සිටි බොහෝ දෙනෙකුගේ පින එසේ පීවීසී මුල්ලේ විය. වෙළද භාණ්ඩ ප‍්‍රවර්ධනය උදෙසා රෝඞ් ෂෝ ප‍්‍රචාරණය නිමල් පීවීසී තුළින් කරළියට ගෙනාවේය.

සිරස FM නාලිකාව සදහා පාර කැපෙන්නේ එසේය. නොබෝ කලකින් සිරස ටීවී සමග බලන්නට වැඩසටහනක් නැතිනම් බලන මෙන්ම තෝරා ගත් වැඩසටහනක් බලන තත්වයේ තිබූ එම් ටීවී නාලිකාව මෙන්ම රාජ්‍ය නාලිකා සංස්කෘතිය පසෙක ලමින් නව රූපවාහිනී සංස්කෘතියක් හදුන්වා දෙනු ලැබිණි. ආරම්භයේදී මීට න්‍යායික ආශීර්වාදය සුදර්ශිය හරහා වූ සම්බන්ධීකරණයන් ඔස්සේ නිහාල් , සිරිමල් මෙන්ම දීප්තිගෙන්ද සැපයිණි.

ආන්තීකරණය කළ වේලි වේලී උන් බොහෝ දෙනෙකුන්ගේ නිර්මාණාත්මකභාවයන් ගැබ් කොට ගනිමින් සිරස ගුවන් විදුලිය මෙන්ම රූපවාහිනියද මෙරට මාධ්‍ය සංස්කෘතියේ නවතම පිටුවක් පෙරළීය. සැබැවින්ම නිමල් එහිදී ඓතිහාසික මෙන්ම නිර්මාණාත්මක වැඩ කොටසක් ඉටු කළේය. අදටත් නිමල් කළ දෙයින් එහාට පිම්මක් ගන්නට නොහැකිව සියලූ විද්‍යුත් මාධ්‍ය වමාරා පමණක් නොව පහර පහරා කමින් සිටී. නිමල් විසින් ගෙනා මාධ්‍ය ගෝල බාලයන් බොහෝ නාලිකාවල අධිපතියන්ව සිටිති. සිරස රූපවාහිනියේ අලෙවිකාරකයන් නාලිකා අධිපතියන් මෙන්ම හිමිකරුවන්ව සිටිති.

අනෙකුන්ට පමණක් නොව ඉන් එහා යමක් නිමල්ටද කර ගන්නට බැරිවිය. ජාත්‍යන්තර ධනවාදයේ දස අවතාරයන්ගෙන් එකක් වන විනෝදාශ්වාදන සංස්කෘතිය ඇමරිකානු මෙනු පොජ්ජේ ඉන්දියානු පොටෝකොපියේත් පොටෝ කොපියක්ව ලොප් විණි. එයට ජේ ආර් ජයවර්ධනගේ සිංගප්පූරුවට වූ සන්තෑසියම සිදු විණි.
බි‍්‍රතාන්‍ය මාධ්‍ය විචාරකයකු FM යන්න වර නැගූයේ ෆියුනරල් ඔෆ් මීඩියා යනුවෙනි. ඇමරිකානුවන් රූපවාහිනිය හදුන්වන්නේ මෝඩයාගේ පෙට්ටිය යන අරුතැති BOOB TUBE යන වදනිනි. සිනමා විචාරක රුඩෝල්ප් ආන්හයිම් රූපවාහිනිය වෙළදපලට නිකුත් කරන්නටත් පෙරම එක් අනාවැකියක් පළ කළේය. එනම් ‘ලෝකයම කාමරයක් තුළට එනු ඇත. සිතන සිත්නවතිනු ඇත. ලියන අත් නවතිනු ඇත.’  යනුවෙනි. 
ගුවන්ගත වීමට පෙර ජෝතිපාලගේ මුල් කවරයක් සිනමාපුවත්පතක කවරයට යෙදීමට විරුද්ධව සංස්කාරකවරයා සමග පරසක්වල ගැසූ එක්තරා ඇමතියකු ගුවනින් බසින විට ජෝතිපාල දිවංගතවී තිබිණි. ගුවන්ගතව ආපිට ආඇමති දිවංගත ජෝතිපාලගේ අවමගුල තුළින් කනත්තෙන් සොයාගත් මේ ජනප‍්‍රිය සංස්කෘතිය ඉන්පසු අපගේ කුලකයට රැගෙන ආයේ රොහාන් පෙරේරාය. ඉන් පසුව ඒ මිනී පෙට්ටිය කරට ගත්තේ අප මිත‍්‍ර නිහාල් පීරිස්ය. නිමල් ලක්ෂපති විසින් රට පුරා රැගෙන යන්නේ මේ මිනී පෙට්ටියය.

කුඩා කල සිට ජෝතිපාල , නිහාල් නෙල්සන් පමණක් නොව මිල්ටන්ලා ක්ලැරන්ස්ලාද නයාට අදුකොල මෙන් වූ මා අපේ කුලකයට රොහාන් විසින් රැගෙන ආ මේ මිනී පෙට්ටියට කර නොගැසුවත් එය බහුත්වවාදයට , ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඉඩදීමක් යැයි සිතා නිහඩ වූයෙමි. එහි සමාජ විද්‍යාත්මක පැත්ත සොයන්නට පෙළඹුනෙමි. සාහිත්‍යය කන්නදැයි අසමින් පටන් ගත් බඩ සහ කෑම ප‍්‍රධාන කර ගත් අද දොස්තර පෝලිම්වල ලගින්නන්ගේ මෙන්ම දරුවන්ට වයස හතලිහේ පනහේ මිනිසුන්ට සැදෙන රෝග උරුම කොට දෙන්නන්ගේ ගෑනුන් මිචෙලින් බබාලා මෙන් ටයර් අට්ටි බවට පත්කරන්නන්ගේ මේ කුජීතු සංස්කෘතිය කෑමෙන් පසු තෙල බස්සා ගන්නට සදන ෆැන්ටසි සම්පාදනයක් විය. 

අජිත් තිලකසේන නමැති පේන කියන්නා පාරදිගේ තුළින් ලාංකීය සමාජය ගැන පේන කී පරිදිම ඒ.ඞී.රංජිත් කුමාර සමග කළ විනෝදයයි වින්දනයයි සාකච්ඡාව තුළ මෙම තත්වය ගැනද පේනකියයි.නවලිය සිනමා අතිරේකය සදහා පරාක‍්‍රම සිල්වා සමග සාකච්ඡාවකට මමත් ජායාරූප ශිල්පියා වූ මගේ පාසල් මිතුරු චන්න දේශප‍්‍රියත් 80 දශකයේ දිනෙක ගිය විට පරාක‍්‍රම අවධාරණය කළේ මෙය දැන් රටක් නොව බඩු ගෙනත් විකුණන්නට තබා ඇති කඩයක් පමණක් බවය. පරාක‍්‍රම ඒ කඩ සංස්කෘතිය තුළ මුළු ගැන්නී ගියේය. අජිත්ගේ මෙන්ම පරාක‍්‍රමගේ ප‍්‍රකාශන නූතනවාදය තුළ සිරවී ඇතැයි අපිද පසුව පශ්චාත් නූතනවාදය කටේ ගාගත් පසු කී බව ඇත්තය. එහෙත් සම්භාව්‍ය සංස්කෘතික උරුමයකින් තොරව ආන්තීකරණය කළ ජනප‍්‍රියවාදයට ඇති ඉදිරි ගමනක් නැත. එවැන්නකට හඩක් දීම ඔලූව හැදීමෙන් තොරව, පද්ධතිය වෙනස් කිරීමෙන් තොරව ආන්තීකරණය කළ කවර කණ්ඩායමකට හෝ ඉඩ දීම තුළින් වන විනාශයම කැදවාගෙන එයි. මෙය ආන්තීකරණිත සමාජ කණ්ඩායම්වලින් පැමිණිය වුන් නිසා පාර්ලිමේන්තුවට සිදුවී ඇති අසංස්කෘතිකකරණයමගින් මොනවට පිළිබිඹු වේ. ජනප‍්‍රිය සංස්කෘතිය න්‍යායගතව සෞන්දර්්‍යවේදයක් බවට පත් රටවල ඒ සිදු වූයේ සම්භාව්‍ය සංස්කෘතිය බිද නොවැටෙන තරම් ප‍්‍රබලව නැගී සිටින තත්වයකදීය. 
ස්ත‍්‍රීවාදය ලිංගික නිදහස වැනි අපවිසින් පොළොවට ගෙනෙන්නට පාවාඩ එලූ බොහෝ දේ සම්බන්ධ තත්ත්වය එයයි. ස්ත‍්‍රීවාදයේ හිස්ටීරියානු ස්වභාවය පසෙක වේවා එහි ෙඓතිහාසික උරුමය සහ ජයග‍්‍රහණ සියල්ල ධනවාදී වෙළදපල විසින් කොල්ල කනු ලැබිනි. දීප්ති නිවැරදිව ප‍්‍රවාද ගත කළ ආකාරයට පශ්චාත් ස්ත‍්‍රීවාදී නංගියකු දැන් අප ඉදිරියේ සිටී. වාමාංශිකයකු ඇසුරු කරනවාට වඩා ලිබරල් වුන් ඇසුරු කිරීම සිතට සනීපය. ස්ත‍්‍රීවාදිනියක ඇසුරු කරන විට මෙන් මේ පශ්චාත් නූතන නංගියලා ඇසුරු කරන විට ඇග රිදෙන්නේ නැත. ස්ත‍්‍රීවාදිනියකගෙන් විය හැක්කේ තුවාලයක් සිදු වීම නම් මේ නංගියලාගෙන් අන්තිමට වන්නේ කටු ගොඩක් පමණක් බවට පත්ව ඉතිරි වීමය. අනෙක් අතින් සමලිංගිකත්වය සදහා නිදහස පිලිබද සටන් පාඨයද අද වන විට අපචාරයක් බවට පත්ව ඇති සමලිංගිකත්වයේ වසංගතය හමුවේ කෙතෙක්දුරට වලංගුද ? අලෙවිකරණය සදහා පුරුෂ සමලිංගිකයන් බදවා ගැනීම ස්ත‍්‍රී සේවාදායකයින්ගේ වසගයට පිළිතුරක් ලෙස දුටු අලෙවිකරණ සහ ප‍්‍රචාරණ සමාගම් දිගින් දිගටම පුරුෂ සමලිංගිකයන් බදවා ගත්හ. මෙසේම ස්ත‍්‍රී සමලිංගිකාවියන්ද බදවා ගන්නා ලදී . මෙමගින් ප‍්‍රචාරණ කලාවට පිවිසි සමලිංගික මුද්‍ර‍්‍රාව මේ වන විට මුහුදු හත තරණය කොට මෙහිද කඩා වැදී තිබේ . විවාහ අනුපාතය ටිකෙන් ටික අඩුවේ. නීතිය ඉදිරියේ කෙසේ වුව නංගියලා කතරගම ගොස් මුදු මාරු කොට දෙවියන් ඉදිරියේ සමලිංගික විවාහ සිදු කර ගනිති. ඇතැම් නංගියලා ස්ත‍්‍රීන්ට අයත් ආයතන තම දිවෙන් පාලනය කරති.

ජාත්‍යන්තර ධනවාදයේ තවත් අවතාරයක් වන මානව හිමිකම් , මාධ්‍ය නිදහස , ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය වැනි ගෙදර ගියොත් අඹු නහී මග හිටියොත් තෝ නහී කාරණා නිසා ගෙදරත් නොයා බඩගින්නේ මැරෙන්නට සිතහදා ගන්නට හිතක් පපුවක් ඇත්තන්ට සිදුවේ. කෙසේ හෝ මානවීයත්වය යදම්වලින් නිදහස් කරන සියල්ලක්ම දැලි පිහියෙන් කිරි කෑමක් බවට පත්ව තිබේ. ජනප‍්‍රිය සංස්කෘතියද එසේමය. 
ජනප‍්‍රිය සංස්කෘතිය සදහා ණයට ගන්නට මෙහි තිබුනේ සම්භාව්‍ය පරපුරෙන් උගත් සහ ප‍්‍රගුණ කළ උරුමයය. ඒ උරුමය වෙළදපල හමුවේ බඩගින්න ඉදිරියේ වාෂ්පවී යාමත් සමග දුන්න දුනුගමුවේ වලිප්පු ටෝක් අහවර වෙමින් තිබිණි. ඒ සමග ජනප‍්‍රිය සංස්කෘතිය පැරණි දෙවිවරුන් වෙනුවට පාවිච්චි කර ඉවත දමන තාවකාලික සුරුවම් සහිත හුදු විනෝදාශ්වාදන සංස්කෘතියක් බවට පත් විණි. 
නිමල් මේ තුළ නිර්මාණාත්මක සංකල්ප දියත් කළ බව ඇත්තකි. නයිට් ටයිම් ටීවී මෙන්ම සිරස රූපවාහිනියේ රාත‍්‍රී විකාශන ඇරඹීම පවා ඒ අතර විය. නයිට් ටයිම් ටීවී සදහා මමද පිටපත් රචකයකු ලෙස කටයුතු කළෙමි. පුංචිපැංචි සහ පුංචි පුවත්වැඩසටහනටත් වැඩිහිටියන්ට පමණයි වූ නයිට් ටයිම් ටීවී වැඩ සටහනටත් පිටපත් ලිවීමට මම සතියකට එක් දිනක් නාලිකාවට යාමට යොදාගෙන තිබිණි. දිනක් මා මා මිතුරු සංජය ඈපා සෙනෙවිරත්නත් සමග සිරසට යන විට තවත් බොහෝ දෙනෙකු පිරිවරා  කාර්යාලයේ දොරටුව ඉදිරියේ සිටි නිමල් ‘උඹලා යකෝ ජරාව ලිය ලියා රට ඉවර කරනවා’ යැයි මහ හඩින් පැවසූයේ සැබැවින්ම මිතුරු කමට කරන සරදමක් සේය. ‘ජරාව විකුණන එක රටට පුරුදු කළේ කවුද ඉතින් උඹ මිසක් ?’ මමද ඔහුගේ හඩ පරයා කීවෙමි. නිමල් අපහසුවට පත්වූ නමුත් සිනාසී සිගරට්ටුවක් දික් කළේය. එය ඉබ්බාගෙන් පිහාට්ටක් ලැබීමක් බදු විය.
කෙසේ හෝ නිමල් මිය ගොසිනි. ජේ ආර්ද මිය ගොසිනි . ඔවුන් විසින් වැළලූ හූනියම මේ පොළොවේ තවමත් තිබේ .එය තවත් බොහෝ කලක් එසේම පවතිනු ඇත. සමහර විට එය කිසිදා ගොඩලන්නට බැරි වනු ඇත. නිමල් මෙන්ම ජේආර්ද ජාත්‍යන්තර ධනවාදයේ කට්ටාඩියාටගේ ආවතේව කරන කොට්ටෝරුවන් පමණක් විය . හූනියම් වලලන්නේද ගොඩලන්නේද ඒරොප්පේ කට්ටාඩියන්ට   ඕනෑ විදිහටය.

කෙසේ හෝ මේ විකිණීමේ කලාව තුළ ඒ සියල්ල නිමල්ටවත් සන්නස්ගලටවත් පද්මකුමාරටවත් දමා අත සෝදා ගන්නට කිසිදු පිලාත් කෙනෙකුට බැරිය. මේ තුළ තමන් වෙත ඇගිලි හතරක් යොමු කරගෙන ඔවුනට ඇගිල්ල දිගු කරන උදවිය පුරා වස්තුද සංස්කෘතියද ශාන්ත ජෝන්ගෙ මාලූ කඬේ මෙන් විකුණන සැටි දකින විට සිතෙන්නේ එකකි. කුහුඹු පානි මුදලාලියකු හෝ සක්කරවර්ති මුදලාලියකු වනවාට වඩා ලක්ෂපති කෙනෙකු වීම බෝධිසත්ව ආත්මයක් ලැබීමකි. එකම ගැටලූව ඔබද ලක්ෂපති මමද ලක්ෂපති කියා එකට කෑවත් බොක්ක වෙනස් වුන් කෝචොක් දැමීමය. රුවන් ෆර්ඩිනන්ඞ්ස් ගැන ලියන ත‍්‍රිමාන වෙබ් අඩවියේ මිතුරන් දෙදෙනා සහ වලසාගේ කතාවේ නව අනුවාදය මට සිහි වේ. 
අපායට ගොස් වෙරලූත් දුරියනුත් කඩා ගෙන ආ නායකයන් දෙදෙනාගේ කතාව අවසන් වශයෙන් සිහිපත් කරන්නට මට ඉඩ දෙන්න. ඇඞ්වර්ටයිසින් සහ මීඩියා ගොබිලන් සදහා වෙන්වූ අපායට නිමල් මෙන්ම  මාද මරණින් මතු යන්නට ඉඩ තිබේ. මා නම් කවදත් තෝරා ගන්නේ වෙරලූ වගේ පුංචි ඒවාය. කොහොමටත් මට දුරියන් අරහංය. නිමල්ද කෙසේ හෝ වෙරලූ තෝරතැයි මම සිතමි. එහෙත් කුහුඹුවන් දුරියන් තෝරා ගන්නා බව නිසැකය. එවිට වෙරලූවල වේදනාව පසෙක ලා නිමල්ටත් මටත් එකට සිනාසිය හැක.



Thursday, July 19, 2012

හුඹහෙන් ඇදෙන සිතුවිලි






හුඹහින් ඇදුනු මම හුඹහ දෙස ආපිට හැරී බැලීමි . වසර හතලිස් නවයක් පරණ මගේ හැව හුඹස් කටේ රැදී තිබේ . මම ඒ ආරම්මණයට ගෙන එතැන සිට බවුන් වඩන්නට ගතිමි. බඩ ගානා කුර ගානා සියල්ලෝ මට සිනාසෙන්නට වන්හ. කුණ්ඩලිනී ශක්තිය එක්තැන් කර ගන්නට ගිය මට වූයේ හරිම හරි අකරතැබ්බයකි. වලිග කොනට වෙර දී නැගී සිටිනා සද මගේ සිරුර තුන් කුදුව ගියේය. හුඹහින් එළියට එන සද මගේ අද නෙත්වලට ගිනි බිදින්නාක් මෙන් කඩන් පැන්න ඉර දෙවියන්ගේ පිහිටෙන් , දැන් ඊට පිටුපා සිටින මට තුනේ ඉලක්කම මෙන් තුන් කුදුව ගිය මගේ හෙවනැල්ලේ ඡායා මාත‍්‍රය මගේ අන්ධ නෙතු කෙවෙනි අස්සෙන් මගේ දෘෂ්ටි විතානය මත පතිත වනු හදුනා ගත හැකි විණි . 


ඒ හාම තුන යන සංකල්පයද මගේ චිත්ත සන්තානයෙහි පිළිසිදියේය. 
තුන අපූරු ඉලක්කමකි . මන්ද යත් සියල්ල ඇරඹෙන්නේ පවතින්නේ මෙන්ම වැනසෙන්නේ තුනෙනි . දැන් මනුස් ආත්මය ලද පසුව මා හදුනා ගෙන ඇති පරිදි ශිව , විෂ්ණු ඊශ්වර සේමය . ඒ ගැන සිතන්නට ගනිත්ම මහා ගාලගෝට්ටියක් ඇසෙන්නට වන. කුර ගානා බඩ ගානා සතුන් සක්වල ඒක ගර්ජනා කරන්නා වූ වාදයක පැටලී හුන්හ. ඒ මදිවාට අහල දොල පාරේ හුන් මසුන්ද ඊට පැටලී සිටියහ. කිරලෙක් ද , කපුටෙක්ද , කොහෙක්ද ආදි කොට තටු ගානා ඈයෝද ඊට පැටලෙන්නට ආහ. තුන් වලාමේ තුන් ඉලව්වේ කියා කොහේදෝ නිදා ගෙන සිටි බස්සෙක්ද ඊට හූමිටි තිබ්බේය . 
කන් දී බැලූ කොට ඒ ගොල්ලෝ කතා කළේද තුනක් ගැනය . 
ඒ තුනට ඒ ගොල්ලෝ කීවේ තිස් තුන් කෝටියක් නම්ය . මුලින්ම ඒ ගොල්ලෝ රණ්ඩු කළේ මේ තිස්තුන් කෝටිය තුනකට බස්සා ගන්නටය . අන්තිමේ හුඹහ ඉස්සරහට වී ඒ වචන තුන මගේ චර්ම පටහ පටලයට දැනෙන තෙක් බලා උන්නෙමි . තාත්තලා තුන් දෙනෙක් ගැන ඒ ගොල්ලෝ කතා කරන බව මට තේරුම් ගියේය. 
මම කැලේ අස්සට හක්කලංවී යන විට දැවැන්ත නාග රාජයෙක් මට මුලිච්චි විය . තමා අනන්ත නාග රාජයා බව කී ඔහු  මට කාල සර්ප යෝගය ලබා ඇති බව කීය. 
මම ඒ දැවැන්ත නාග රාජයාට ඉඩදී අන් අතකට ඇදුනෙමි . සම කීරි ගස්වන හඩකින් දැපනෙ වැටී ගිය මම අන්තිමේ අහිකුණ්ඨිකයකු යැයි මා බොහෝ කලකට පසුව සංකල්පීයව දැන හදුනා ගත් කෙනෙකු විසින් පෙට්ටියක දමා ගෙන බොහෝ කලකට පසුව මා එසේම හදුනා ගත් නගරයට ගෙනාවේය . මා මිනිසකු බවට පත් කළ තාපස උන්නාංසේද මට මුන ගැහෙන්නේ මේ මණ්ඩියේදීය . අහිකුණ්ඨිකයා මා නටවනු බලා සිටි තාපසයා කහපාට දිලිසෙන යකඩ පෙති මොනවාදෝ දී මාව ඉල්ලා ගත්තේය . ඊළගට මාව බිමින් තබා මොනවාදෝ හෙමිහිට කියන්නට විය . 
මා මීට පෙර ආත්ම දෙකක් ඇඹල පෝතකයකුව සිටි බවත් ඒ අතරතුරද ඇඹල ආත්මම පැතූ ඇඹල බිජු ලෙසම හුන් බවත් , එහෙත් ඊට පෙර මා මනුෂ්‍යයකුව හුන් බවත් හේ කීය . ඒ මනුෂ්‍යයාගේ වග කෙසේද යත් ලේඛක නමින් හැදින්වූ බඩ රස්සාවක් කොට දිවි රැක ගත් වගත් , එහෙත් ඒ රස්සාවට සාප කරමින් ඉන් නිපැයූ පොත් නමැති දෑටද සාප කරමින් සිටි හෙයින් මිය පරලොව ගොස් ඒ පොත් අතරෙහිම ඇඹලයකුව ඉපිද පැනි හැලිවලට ලොබ බැදි බවත් උන් වහන්සේ කීය . ඒ අතර පැනි හැලිය සිදී ගොස් මා එතනින් ගිය වැලහින්නකගේ පයට ඇඹලයකුසේ පොඩි පට්ටම්ව ගොස් සර්පයකුව උපන් බවත් තමාට හමු වූයේ එකල්හි බවත් විස්තර කළේය . ඇඹල ආත්ම දෙකට පෙර මිනිසකුව සිටියදීද අනෙක් මිනිසුන් මා සර්පයකු ලෙස හදුන්වා ඇතැයිද තාපසයා තවදු කීය . 
යළි මා මනුෂ්‍යාත්මභාවයකට පැමිණ වූයේ ඒ තාපසයා විසිනි . අනන්ත නාග රාජයා අසල මා තබා මගේ කුදු බවද මේ ලොවෙහි කුදු බවද පෙන්වූයේ එතුමාය . ඒ සමගම මා පුනරුත්පත්තිය ලදුව අනන්ත නාග රාජයා පුරුක් දෙකක් බඩගාද්දී කරදඩු උස්ව ගියෙමි . 
මේ ආත්මයේ මා ජීවිකාව පෙර ආත්මයක සදිසිවම ලේඛනය බව එසැණින් පසක් කළෙමි . 
එහෙත් නව උත්පත්තියකට වෙනස්ව මෙය ඇඹල ආත්ම දෙකකට සහ ඇඹල බිජු ආත්ම දෙකකට පෙර ගෙවූ මිනිස් ආත්මයම විය . ඒ සංසාර පුරුදු සියල්ල මට නිරායාසයෙන්ම පිහිටි වැනිය . මිනිසුන්ද මා පිළිගත්තේ මා ඊට පෙර පටන් ලේඛකයකු සේය . මා ලියන ලද පොත් ගැනත් ඔවුන් කතා කළෝය . එහෙත් ඔවුන් වැඩිපුර කතා කළේ මා නොලියන ලද පොත් ගැනය . 


ඉතින් දැන් පෙර ආත්ම ගැන , පෙර ආත්මවල කරුම ගැන අමතක කොට ඔන්න ඔහේ ලේඛකයෙක් හැටියටම මැරෙනාතුරු ඉන්නවා යැයි මට නිකමට සිතුණි . ඉතින් එහෙම සිතා ලේඛකයකු හැටියට පිරිය යුතු වතාවත් පුරන්නටද පටන් ගතිමි . පොත් කඩ ගානේ ඇවිද ගියෙමි . පත්තර ගානේ ඇවිද ගියෙමි . ප‍්‍රකාශකයන් ගානේ ඇවිද ගියෙමි. විචාරකයන්ගේ දේශන අහන්නටද ගියෙමි . සම්මාන උළෙලවල් ගානේ ඇවිද්දෙමි . ඉස්කෝලවල විශ්ව විද්‍යාලවල විෂය නිර්දේශ අස්සේ බඩ ගෑවෙමි . 
අවසානයේ වටහා ගතිමි . 
සියල්ල පවතින්නේ තුන නිසාය .
සියල්ල පවතින්නේ තුන හැටියටය. 
සියල්ල අහවර වන්නේද තුන හැටියටය.
ඉතින් මා දන්නා එකම දෙය වන පොත් වලටද ඒ පොදුය . 
අපේ රටේ පොත් වර්ග තුනකි . මා ගුහාවෙන් එළියට එන විට ඇසුණු ගාල ගෝට්ටියෙන් අහුලා ගත් වචන තුන ඊට අලවන්නට මට සිතුණි . එසේ ඇලවූ විට පොත් වර්ගද තුනකි . 
සංකේතීය පොත් .
පරිකල්පනීය පොත් 
යථා පොත් 


සංකේතීය පොත් අර ගාලගෝට්ටියේදී කියවුණු තාත්තලාගෙන් කෙනෙකු වන සංකේතීය තාත්තා වැනිය . ඒවා රජුන්ගේ පිළි ගැනීමට ලක් වේ . පඩුරු පාක්කුඩම් ලබයි . ඒවා අනෙක් අතට රජුන්වද පිළි ගනී. තක්සලාවල ඉගැන්වේ . ඒ නිසා හැමෝම ඒ පොත් ගැන දනී . රජා මෙන්ම සිහසුනින් බැස ගිය පසු කිසිවකු ඒ පොත් මතක් නොකරයි . 
පරිකල්පනීය පොත් අම්මෙකු වාගේය . ඒවා නීති නොදමයි . ඒවා පිළි ගැනෙන්නේ අම්මා මෙන් තාත්තා නැති තැනය . නැති විටය . එහෙත් ජීවිතයේ හැලහැප්පීම්වලින් අපව ආරක්ෂා කරන්නේ අප සිත් පිරිමදින්නේ මේවාය . 
යථා පොත් අරින් යථා  තාත්තා වැනිය . නීති කඩමින් නීති දමයි . කකුලූවා මෙන් පැත්තටම යමින් පැටවුන්ට කෙළින් යන්නට කියයි. ඉස්කෝලයක් පලාතට මේවා වැද්ද ගන්නේ නැත. එහෙත් ඉස්කෝලවල ඩෙස් උඩ නොව යටින් හැමදාම කියෙව්වොත් කියවන්නේ මේවාය .
කුණ්ඩලිනී ශක්තිය ඒකරාශී කර ගන්නට ගොස් තුන් කුදුව ගිය කොන්ද මට සිහිවේ . හුඹහෙන් එළියට එන විට ඇසුණු ගාලගෝට්ටිය මට සිහිවේ . කොහොම වුනත් තුන ඉතාමත්ම වැදගත් වේ .





කළු බණ්ඩාර සම්මුඛ වීම හෙවත් මහිලාවංශය

”වැසිකිළි ගොඩ අදින්නා සේ ඇතුළු මනස හෙළි කිරීමේ අර්ථය කුමක් දැ” යි වරක් හේන්පිටගෙදර ඥානසිහ හිමියෝ සාහිත්‍යයේ අර්ථය ප‍්‍රශ්න කළහ. ...