Friday, March 7, 2014

අවමංගල ස්තූතිය!





නික්ම යන්නට අවසරයි.
තිස්වසක් මා පොහොනි කළ
නෑසියන් නුඹලාය.
තුති මල් මිටක් ලෙස
ගනු මැනව
මිනීමල් පොකුර මේ
සුසානය පීරා මා නෙලා ගත්
මා මිහිදන් කරන.

මාගේ දැරහැව රැගෙන මේ පාලු කනත්තට ආවාට
රන්කඳ රන්කඳ කවදා දකින්නද
දැන් යමු දැන් යමු පාලු කනත්තට
මළබෙර තාලයට මා සමග
පියවර මැන්නාට
තුතිමල් මිටක් ලෙස
ගනු මැනව
මිනීමල් පොකුර මේ
සුසානය පීරා මා නෙලා ගත්
මා මිහිදන් කරන.

අහස්කුස සිට බලා සිටිමි මම
මාගේ මළකඳ දෙස
ඒ බදා වැලපෙන
එයට ආචාර කරන
පසට මා යට කරන
ඔබ දෙස.
අසා සිටිමි මම
අවමඟුල් දෙසුම්
මා වෙනුවෙන් කරන.

පැමිණියාට ස්තූතියි
මාගේ අවමඟුලට පමණක්ම නොව
තිස්වසකට පෙරාතුව
තිඹිරිගෙහි ලේ හුජ්ජ ගූ මැදින්
මරලතෝනි මැදින්
මා ආ තැන් පටන් කොට මෙලොවට
සුසානය දක්වාම මේ දිවිසැරියේද මේ ලිවිසැරියේද
මා හා පිය නැඟූ සැමට
මා පොහොනි කළ ඔබ සැමට
ජීවිත සටනේ මා තනි නොකොට
මා සමග සිටි සැමට
මාගේ සියලු රූපාන්තරණයන්හිදී
මා සමග සිටි
මා හැර ගිය
පෙම් කළාවූ මෙන්ම වෛර කළ මා හට
ප්‍රේමයෙන් මෙන්ම වෛරයෙන්ද මට ජීවිතය දුන්
ඔබ සැමට
මාගේ මේ අවමඟුලට
දායකවූ වෙහෙසවූ
සහභාගීවූ මෙන්ම
එන්නට බැරිවූ සැමටයි මේ මිනී මල් මිට.
දැරහැව කපන්නට
මාගේ මිනී වලේ දපා
නිර්භීතවූ යකදුරන්ටත්
කොට්ටෝරුවන්ටත්
මෙන්න මේ මිනී මල් මිට.

ඉතින් අවසරයි මට නික්ම යන්නට
දුර ඈත විශ්වයක
තාරකාවක් වටා බමන
පාලු හුදෙකලා පුංචි ග්‍රහලෝකයක
ගැහැණියක කුස පිළිසිඳ
ඇගේ දෙකකුල් අතරින්
ලේ හුජ්ජ ගූ මැදින්
මරලතෝනි මැදින්
එළිය දකින්නට එලොව
නික්ම යන්නට අවසරයි මා හට.

සර්පයා

2014 -03-06



Wednesday, March 5, 2014

වම්මු වගේ කුහක නැති නිසා ජ්‍යොතිෂ්‍යය පිළිගන්න බව මං කියනවා- සර්පයා


මහා ලෝහමය තුඹස දෙස බලා සිටි මම දිග පොල්ලක් ගෙන හිමිහිට හුඹහට තට්ටු කෙරුවෙමි.
අහා...!!!
එක්වනම සර්පයා එළියට පැමිණ මා කර වටා එතී නැවත බිමට බැස පෙනය පුප්පා මට ආචාර කළේය.
එකී සර්පයා නම් කේ.කේ.සමන් කුමාරය. කේ.කේසමන් කුමාර නම් එකී සර්පයාය.
දැන් සර්පයාගේ තිස් වසරක හැව ඇරීම දෙසට මම හිමින් සීරුවේ යන්නට සිතුවෙමි.එක් වනම අදීවාතක සුස්මන් පිට කළ සර්පයා මා නිද්‍රාවට පත් කොට ස්වප්නමය ලෝකයකට මා කැඳවා ගොස් මානවක වේෂයකින් මා හා සංවාදයේ යෙදුනේය.

-සර්පයා!!! තිස් වසරක ලේඛන දිවියේ හැව ඇරීම තුළින් ඔබට ලැබුණේ කුමක්ද? අද ලියන්නෙක් විදියට ඔබ තෘප්තිමත්ද?
-අද බලනකොට මීපැනි වගේ දුක් කරදර ගොඩාක්. ඒ ඇර සංකේත ප්‍රාග්ධනයකුත් තියනවනෙ. ඒකත් ඉතින් එසේ මෙසේ එකක්යෑ.... ලියන්නෙක් විදිහට නම් තෘප්තිමත් නෑ. ඒත් නොලියන්නෙක්ගේ තෘප්තිය කියන එක මාර එකක්. ඒක විඳින්න හැමෝටම අවස්ථාව ලැබෙන්නේ නෑ. ලියන්නෙක්ගේ තෘප්තියට වඩා ඒක මාරයි.



තිඹිරි ගෙය තුළින් ලොවට අලුත් අමුත්තෙකු ගොඩව එළිපත්ත මත දෙපා ගසන හඬ ඇසුණි. මම දොර අසලට වී නොඉවසිල්ලෙන් අසා සිටියෙමි. හදිසියේම දොර හැරුණේ විලාප නගාගෙනය. -සර්පයකු හා සටන් වැද ( පිටුව 25- 97 මාර්තු මුද්‍රණය)

 

-සර්පයා!!! සර්පයකු හා සටන් වැද කෘතිය මුල් වරට 84 දී පිට වීමෙන් කෙටි කතා ලෝකය දෙවනත් වුණා අලුත් දේවල් රාශියක් එ කී කෘතියේ අභ්‍යන්තරයේ ගැබ් වී තිබුණා. ඒ රසය අදටත් එසේමයි. ප්‍රථම හැව හැරීමම එතරම් ප්‍රබල වූයේ කොහොමද? 
-අනේ මංදා ඒවා මට කොහෙන් ආවද කියලා. සරස්වතිය කියන්නෙ ඕක ‍වෙන්න ඇති.
-සර්පයා!!! නේරන්ජනේ ඉස්නානේ තුළින් ඔබ ථේරවාදයට සියුම්ව දෂ්ඨ කළා නේද?
-ඔව්. ඒත් මම දෂ්ඨ කළේ ථෙරවාදයට විතරක් නෙමෙයි. ස්ත්‍රීවාදයට, වාමවාදයට, පශ්චාත් නූතනවාදයට, ලිංගික නිදහස්කාමයට, පුරුෂවාදයට සේරටම. ඒත් ථෙරවාදයට දෂ්ඨ කරපු එක විතරයි තේරුණේ. අද ඉන්න හිස්ටීරියානු ස්ත්‍රිය, විපරීත ස්ත්‍රිය වගේම ස්ත්‍රීවාදී ව්‍යාපාරය ගැන, පශ්චාත් ස්ත්‍රීවාදය ගැන ඒකෙ තිබ්බ අනාගතවාදී පේන කීම කාටවත් තේරුණේ නෑ. ථෙරවාදියො ටික මගෙ අලංකාරිකය අල්ල ගත්තා, ඔවුන් හිතුවෙ මං බුදුදහමට අපහාස කළා කියලා. අනිත් අයත් ඒ අලංකාරිකයෙන් චූන් වුණා. ප්‍රභාකරන් කොළඹට ගහනකොට වගේ. හඳ දිහා වෙනුවට හැමෝම බැලුවෙ ඇඟිල්ල දිහා. වම්මුයි ගම්මුයි ගෑනුයි සේරම මේක බුදුදහමට අපහාස කරපු එකක් ගානට දැම්මා. ඒත් මම සාසනේ කියන එකෙන් අදහස් කළේ ස්ත්‍රීවාදී, පශ්චාත් නූතන, වාම යනාදී සියළු සාසන. අන්තිමේ හාමුදුරුවරු නැටුවා නැටිල්ලක් පොතේ නැට්ටෙන් අල්ලගෙන. බුදුහාමුදුරුවො හිටියා නං බක බක ගාලා හිනාවෙනවා.



එකල්හි කෙලෙස් ගැට රහිත වූ නිගන්ඨියෝද නිගණ්ඨයෝද කෙලෙස් ගැට සහිත වූ සගණ්ඨියෝද සගණ්ඨයෝද අතර මහත් වාද ඇති විණි. නිගණ්ඨීන්ද නිගණ්ඨයන්ද දඹ අතු කඩා බිම ඇන 'මා හා වාද කරනා රිසියෙක් වේ නම් මේ පෙරලුව මැන'යි කියමින් තන්හි තන්හී සැරි සැරූහ.( නේරංජනේ ඉස්නානේ- පිටුව 100)

දැන් මා සර්පයා සමඟ දොඩමලුවී සිටින සිහිනයේ දිග පළල මැන ගත යුතු වූ බැවින්ම සර්පයා නම් සිහින දකින්නාගෙන් මේ කී සිහිනය සහ සියලු සිහින පිළිබඳව විමසීමට සිතුවෙමි.
 

-සර්පයා!!!සිහින සහ ප්‍රබන්ධමය ආඛ්‍යාන අතර පවතිනුයේ කිනම් සම්බන්ධයක්ද?
-සිහින කියන්නෙ ජීවිතේ ඇත්ත අපිට අවිඥාණකව නින්දෙදි පත්තුවීමක්. ඒත් ප්‍රබන්ධයෙදි අපි සවිඥාණකව පියවි සිහියෙන් සිහින උපද්දවා ගන්නවා. පත්තු කරගන්නවා. ඒත් ඇත්ත හීන හීනෙන්වත් හිතා ගන්න බැරි තරම් මාරම මාරයි. මං හිතන්නෙ මම තමයි අපේ රටේ එෆ් එම් කලාව තුළ පළමු සිහින විචාරකයා . දැනටත් මම එක් නාලිකාවක ඒ විදිහට වැඩ කරනවා. අධිසත්තාවාදය කියන්නෙ ප්‍රොයිඩ්ගෙ සිහින කල්පිතය මත පදනම් වුණු කලා ප්‍රවනතාවක්. නමුත් මෙහෙදි යුංග්වත් ඒ වගේම අදාල වෙනවා. ඇත්තටම හීන තෝරන්නෙක් හැටියට රටේ විවිධ පළාත්වල විවිධ වයස්වල විවිධ තරාතිරම්වල ගෑනු මිනිස්සුන්ගෙ  හීන තෝරන්න ලැබෙන එක මට මහා ආශිර්වාදයක් වගේම ආශ්වාදනීය අවස්ථාවක්. මං ඒ හීන ටික එකතු කරලා පොතක් ගහන්න ඉන්නෙ. ඒ හීන කලාකාරයන්ටවත් එහෙම උපද්දන්න බෑ. ඉටුකරගන්න බැරි හැබෑ කරගන්න බැරි හීනයක් තමයි හීනයක් විදිහට නැත්නම් නිර්මාණයක් විදිහට එන්නෙ. කියා ගන්න බැරි දෙයක්. ලේඛකයා තමන්ගෙ හීන කියන දෙහි ගහ තමයි පාඨකයො.



එක් වනම අපේ සිහිනය තුළට අල ගෙඩියක් කඩා පාත් විය. මෙකී අලය කෑ පසු ඔළුව කරකුඤ්ඤං වන බවක් මා හට එක්තරා අයෙකු කියා තිබේ. එකී අල ගෙඩිය හරහා නගා මැරූ අල මගේ මතකයට කාන්දු විය.
සර්පයා!!! ඔබ කවි හැව ඇරියා මදි!!! මා අත තිබූ පොල්ලෙන් මම සර්පයාට නොරිදෙන්නට දමා ගැසුවෙමි.
 


-කවි හැව අරින්න ඉතින් මාව ගනන් ගන්නෙ නැති කෙල්ලෙක් හරි ගෑණියෙන් හරි ගැන මට පිස්සුවක් හැදෙන්න එපැයි. කොටින්ම පැනි හැලියකට වැටෙන්න හරි  පැනි සුවඳ දැනෙන්න හරි ඕනෙමයි.  අපෝ එහෙම එක්කෙනෙක් ගාව තියනවා මම ලියපු කවි තුන් හාරසීයක්. ඉල්ලලා බලන්න ඕනෙ. පොතකට ගහන්න. අලුතෙන් ලියන්න නම් නිමිත්තක් ඕනෙ. අනිවාර්යයෙන්ම ඒක ස්ත්‍රී නිමිත්තක් වෙන්නත් ඕනෙ.
-සර්පයා!!!ප්‍රබන්ධයක අනන්‍යතාවය කියන්නේ කුමකටද? කොටින්ම ප්‍රබන්ධයක් කියන්නේ කුමකටද?සියල්ලම ප්‍රබන්ධයක්ද?
-මේ ලෝකේ සියල්ලම ප්‍රබන්ධ. ගොඩනැංවීම් කියන්නෙත් සංස්කාරයන් කියන්නෙත් ඒකමයි. ප්‍රබන්ධකරුවා  තමන්ට අනන්‍යතාවක් හදාගන්න ප්‍රබන්ධ කරන්න ගිය තැන ප්‍රබන්ධයේ අනන්‍යතාවය මැරෙනවා. ප්‍රබන්ධයත් හිතුවක්කාර පුතෙක් නැත්තං ප්‍රේමාතුර වෙච්ච දියණියක් වගේ. ගෙදර එන්න වෙලාවල් දාලා, නීති දාලා රටේ ලෝකෙ ලැජ්ජාවට ඔවුන්ගෙ කැමැත්තට ඉඩ නොදී වැඩකළොත් ප්‍රබන්ධයෙ අනන්‍යතාව නැතිවෙනවා. ප්‍රබන්ධයක් කියන්නෙ ස්වාධීන ජීවිතයක්. අපිට ඒ ජීවිතවලට ඇඟිලි ගහන්න බෑ. මට ඕනෙ විදිහට මගෙ දුව හරි පුතා හරි ඉන්නෙ නෑ වගේම තමා ප්‍රබන්ධයක් කියන්නෙත් හිතුවක්කාර දරුවෙක්. ලේඛකයන්ට ඕනෙ විදිහට ඉන්නෙ නෑ. රටේ ඉන්න විචාරකයන්ටයි පක්ස නායකයන්ටයි හාමුදුරුගොල්ලන්ටයි පාලකයන්ටයි ඕන විදිහට නං ප්‍රබන්ධ ඉන්නෙම නෑ. ප්‍රබන්ධයක් මහජනතාවට වඩා වෙනස්. එක එකාට අනුව නටවන්න බෑ.

-සර්පයා!!! ඔබ සයිමන්ව කොපි කළා නේද,නේරන්ජනේ ඉස්නානේ තුළ සිටින්නේ පුංචි සයිමන් කෙනෙක් සහ පුංචි ටෙනිසන් කෙනෙක් කියා මං ඔබට චෝදනා කරනවා?
-ඉස්කෝලෙ අටේදි විතර මං ලියපුවා කියෙව්වොත් ඔබ කියයි මං ඇතුළෙ කුමාර කරුණාරත්නයි, ජයලතුයි ඉන්නවා කියලා. එහෙම තමයි පොඩි ළමයි. අනුකරණය කරනවා. දැන් මට අනුකරණය කරන්න කෙනෙක් නෑ. මං දැන් ලොකු ලමයෙක්. මං තාම ලොකු ළමයෙක් හැටියට මොකුත් ලියලා නෑ. තාම ලොකු වුනා විතරයි. මං දැන් ඔන්න ලියන්නයි යන්නෙ. දන්නවද ඇත්තටම මං ලේඛකයෙක් වෙන්නයි යන්නෙ.
-සර්පයා!!! ඔබ මුල් කාලයේදී මාක්ස්වාදී හුඹහ තුළ දිවි ගෙවූවෙක්. නමුත් අද වනවිට ඔබ එයින් ඈත් වී වෙනමම ආකාරයකට බුදු දහම ඇතුළු සාන්දෘශ්ටිකවාදී දර්ශනයන් පිළිබදවත් ජ්‍යෙතිශය වැනි ගුඪ දේවල් සම්බන්ධවත් යම් අධ්‍යයනයක සිටිනවා. මුල් හැව පසු හැව වලින් වෙනස් වූයේ ඇයි?
-මාක්ස්වාදෙ තාමත් තියනවා. සාංදෘෂ්ඨිකවාදෙ එදා ඉඳන් තිබුනා. බුදුදහම නං අලුත්. ඇත්තටම මට විතරක් අදාලව නෙමේ. ඒක මොන නූතන දේටත් වැඩිය අලුත්. ඒක කවදාවත් පරණ වෙන්නෙ නෑ. ජ්‍යොතිශ්‍යය ගැන නම් ඉතින් මගෙ ජීවිතේ ගැන කියවීම හරි වුණාට පස්සෙ මං ඒකට සමීප වෙන්න එපෑ. මොන දර්ශණයක් හරි ජ්‍යොතිෂ්‍යයට වඩා නියත විදහට මගෙ ජීවිතේ අතීතය ගැන අනාගතය ගැන කිව්වොත් එදාට ඔන්න වෙනයි. ඒත් පාර මනෝවිද්‍යාවන් හා පාරවිද්‍යාවන් ගූඩ වෙන්නෙ පිට ඉඳලා බලද්දි විතරයි. මම ඒවා ගැන අධ්‍යයනය නම් කරන්නෙ නෑ. මම ඒවා කරේ තියාගෙනත් නෑ. ඒත් වම්මු වගේ කුහක නැති නිසා මං ඒක පිළිගන්න බව මං කියනවා. මං සාස්තරයක් බලන්න ගිය තැනකදි මට හම්බ වෙච්ච වමේ මාර ලේඛකයෙක් ඉන්නවා. කවුද කියලා අහන්න එපා හරි නෑනෙ. මං ගිහින් කතා කළාම මාව දැකලා ගූත් ගියාද කොහෙද? 
-සර්පයා!!! ඔබ ජීවිතය ගැන යම් කළකිරීමක් නිසා නේද බුදු දහම දෙසට නැඹුරු වෙන්නේ?
-පසුගිය කාලෙ මගෙ ජීවිතේ වෙච්ච හැලහැලප්පීම් තේරුම් ගන්න මම උත්සාහ කළා මනෝවිශ්ලේෂණය වගේම බුදුදහම කියන දෙකෙන්ම. ඒක හරියට දසමරුන් එක්ක සටන් කරනවා වගේ. බුදුදහම නොතිබුනා නම් මේ වන විට මං නොඉන්න තිබුනා. ඒ වගේම තව ජීවිත කිපයක් ඉවරවෙන්න හෝ කාලකණ්ණි වෙන්න තිබුනා. අද මට කිසිම කළකිරීමක් නෑ. කිසිම දෙයක් දඩිව නොගන්න තමන්ගෙ මළකඳ දිහා අහසෙ ඉඳලා බලා ඉන්න හැඟීමක් තමයි මට තියෙන්නෙ. පුදුම නිවිච්ච හිතකින් මං ඒ දිහා බලන් ඉන්නෙ. ඒක හරිම සැහැල්ලුයි. 
-සර්පයා!!! ඔබ හාර්ට් එෆ් එම් චිත්‍රපටයේ තිර රචනයේ කොටසකට දායක වෙනවා. නමුත් ඉන් පසුව තිරරචනාමය හැවක් අපට හමු වන්නේ නැහැ. ඒ ඇයි?
-අයියෝ මං මමම කරන්න කියලා ලියපු තිර රචනා හයක් ගිනි තියලා තියනවා. අනුන්ට ලියපුවා අන්තිමට කෙරුණෙ නැතුවාම ගිනි තියලා තියනවා.  සම්පූර්ණ අත්පිට මුදලට විතරයි ආයි තිරකතා නම් ලියන්නෙ. ඊට වඩා බුදිය ගන්න එක සැපයි. 
-සර්පයා!!!ඉදිරියේදී හැව අරින්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද?
-හප්පා. ඒක හරියට හෙට අතේ ගහන්නෙ කාව මතක් කරලාද කියලා ඇහුවා වගේනෙ. මං කොහොමද දන්නෙ. හෙට වෙනකොට කීයක් ඇහැට වැටෙයිද?



මම බක බක ගා හිනා වී සර්පයාගේ පිට මතට තට්ටුවක් දැම්මෙමි. "තොප හරිය බුදු දහමේ මූලික සාරය එකී පිළිතුරෙන්ම කියවා ගත හැකිය"
සර්පයා කිසිවක් නොකියා සිනා සුණේය.
 

-සර්පයා!!! ඔබ කොහොම කීවත් දැන් ඔබේ නිර්මාණාවේශය මැරිලා කියලා මට හිතෙනවා අඩු තරමේ ඔබට අලුත් යමක් ලියා පළ කරන්නවත් බැරි වෙනවා 30 වෙනි සැමරුමේදී. ඇයි පරණ දේම විකුණන්නේ?
-මටත් හිතෙනවා අම්මපා මගෙ නිර්මාණ ආවේසෙ මැරිලා කියලා. දැන් නිකන් ලිව්වත් එකයි. නැතත් එකයි වගෙ. ඉස්සර තරම් නිර්මාණ මෝල් අමාරුවක් දැන් ඇත්තෙම නෑ. හරියට ඉස්සර ශිඛර සංතෘප්තියෙන් මිසක් මෝචනයෙන්ම මිසක් මේච්චල් කරන්න බැරි වෙච්ච එක දැන් නිම්න තන්ත්‍ර වෙලා. නැගලත් නෑ. බැහැලත් නෑ. ඒ මදිවට හැමවෙලේම තෙමිලත්.
අනේ..... මුඩුක්කුවෙ ගෑනු ළමයි වදනවා වගේ නං පොත් ලියන්න මට නං බෑ. තමන් ළමයි හදනවා නං තමන්ට පුලුවන් දවසකනෙ. බැඳපු ගමන් ළමයි හදන්නෙ හරියට වඳ නැහැයි නැත්තං පොන්නයො නෙමෙයි කියලා පෙන්නන්න වෙන්න ඇති.


මාසෙකට කලින්නෙ මේ යක්කු හොයා ගත්තෙ මට තිහයි කියලා. අම්මපා මාස තුනකටවත් කලින් කිව්ව නම්, ඇඩ්වාන්ස් එකකුත් එක්ක දුන්නා නම් ඇත්තටම මොකක් හරි   ලියන්න තිබුනා මගෙ තිහේ මොකක්ද එකට. එහෙම ලියන්න එව්වා ඕන තරම් තියනවා. හැබැයි සල්ලි දුන්නොත් විතරයි ඒවා ලියන්නෙ. නැතුව බෑ. දන්නැද්ද මං මේ  යුලිසීස් ලියන්නනෙ ඉන්නෙ. කාටවත් කියන්න නං එපා. 

සංවාදය -බාසුරු ජයවර්ධන
mirrorgirl.lk

'කලාවේ සරණාගතයා' ආලේඛ්‍ය ජායාරූපය- නිලන්ත ගමගේ

කළු බණ්ඩාර සම්මුඛ වීම හෙවත් මහිලාවංශය

”වැසිකිළි ගොඩ අදින්නා සේ ඇතුළු මනස හෙළි කිරීමේ අර්ථය කුමක් දැ” යි වරක් හේන්පිටගෙදර ඥානසිහ හිමියෝ සාහිත්‍යයේ අර්ථය ප‍්‍රශ්න කළහ. ...